වගා නොකළ ඉඩම් වල තේ වගා කරන්න වැඩපිළිවෙලක්


(විනීතා එම් ගමගේ)

වතු සමාගම් සතුව පවතින වගා නොකළ ඉඩම් ලබාගෙන තේ වගාව සඳහා කම්කරුවන්ට හා ඒ අසල සිටින ප්‍රදේශවාසීන්ට ලබා දීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ එක්ව වැඩපිළිවෙලක් සකස්කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.

එසේ බෙදා දෙන ඉඩම් වතු සමාගම් භාරයෙන් ඉවත් නොකර ලබාදෙන බවත් තේ වැවීම සඳහා පමණක් බලපත්‍ර ලබාදෙන එම ඉඩම්වල කිසිඳු ඉදිකිරීමක් සිදු නොකරන පරිදි ලබා දෙන බවත් අමාත්‍යවරයා කීය.

සමාගම් සතු වතුවල අක්කර ලක්ෂ ගණනක් හිස් ඉඩම් ඇතැයි ද ඒවා කිසිඳු වගාවක් සඳහා යොදා නොගෙන පැවැතීම අපරාධයක් බව ද කී නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම ඉඩම්වල තේ වැවීමෙන් පසු දැනට සමස්ත තේ වගාවෙන් සියයට 72 ක් වන කුඩා තේ වතු සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි ද පැවැසීය.

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසක් කරන්නැයි කරන ඉල්ලීම වතු හිමියන් නොසලකා හැර ඇති අවස්ථාවක වතු කම්කරුවන් ගේ සුභ සිද්ධිය වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් සැකසිය යුතු බැවින් මේ පිළිබඳ අවදානය යොමු කළ බව ද ඔහු කියා සිටියේය.