මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
සුඛෝපභෝගි මෝටර් රථයක් පවරා දීමේ පොරොන්දුව මත රුපියල් ලක්‍ෂ 54ක මුදලක් ලබා ගෙන වංචා කළ බවට චෝදනා ලැබ සිටි වාරීමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා නිදොස්කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද නියෝග කළේය.
පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව පවරා ඇති නඩුවට පාදක වු සිද්ධිය සමථයකට පත්වු බව එහි පැමිණිලි පාර්ශ්වය දිව්රුම් ප‍්‍රකාශයක් මඟින් දැනුම් දී ඇති බව නියේජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කළ දැනුම් දීමක් සැළකිල්ලට ගත් විනිසුරුවරයා නඩු කටයුතු අවසන් කරමින් එලෙස නියම කළේය.
2002 මාර්තු මස 22වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාදිවෙලදී සුඛෝපභෝගි මෝටර් රථයක් වසර පහක කාලයකින් පවරා දීමේ පොරොන්දුව මත රුපියල් ලක්‍ෂ 54ක මුදලක් දිනේෂ් රත්නායක නමැත්තාගෙන් ලබාගෙන පොරොන්දු වු පරිදි මෝටර් රථය පවරා නොදී එම මුදල සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
මේ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර වාරීමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

