වංචා දුෂණ වලට දඬුවම් දීමේ අණපනත් ඉදිරි සතියේ


ඩයනා උදයංගනී

බැඳුම්කර වංචාව ඇතුළු මහා පරිමාණ වංචා දුෂණ කළ අයට කඩිනමින් දඬුවම් ලබාදීමට හැකි අයුරින් අණපනත් සැකසීම ඉදිරි සති දෙක තුනක කාලයේදී සිදුවන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඒ අනුව පෙබරවාරි මාසයේදී අණ පනත් සකස් කර මාර්තු මාසය වන විට ඒවා පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අණපනත සම්මත කිරීමේ කටයුත්තට විරුද්ධ වීමේ හෝ මගහැරීමේ හැකියාවක් කිසිම මන්ත‍්‍රීවරයකුට නැතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා 2020 වසර වනවිටවත් වංචා දුෂණ කළ අයට එරෙහිව දඬුවම් ලබාදී අවසන් කළ යුතු බව සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (24)  පැවති මාධ්‍ය හමුවකදීය.

බරපතල දුෂණ වංචා පිළිබඳ කොමිසමේ වාර්තා මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට නඩු පවරන ලෙස කර ඇති නිර්දේශ සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප යේ ස්ථාවරය කුමක්ද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියකු ප‍්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා සම්බන්ධ නීත්‍යානුකූල පියවර ගන්නා විට ඒ වාර්තාවල ඇති සියලූ දේ සම්බන්ධයෙන් පියවර ගත යුතු හා නඩු පැවරිය යුතු බවයි.