වංචා දුෂණ නඩු විභාග කිරීමට විශේෂිත අධිකරණ තුනක්


ඩයනා උදයංගනී
      
පසුගිය කාලයේ සිදුවූ වංචා දුෂණ පිළිබඳ නඩු විභාග කිරීම සඳහා විශේෂිත අධිකරණ තුනක් පිහිටුවීම ඉදිරි දෙසතියක පමණ කාලයේදී සිදුවන බව සම කැබිනට් ප‍්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

      
ඒ සඳහා වන පනතේ කටයුතු අවසන් කර තිබෙන බව කී අමාත්‍යවරයා එම අධිකරණ පිහිටුවීමෙන් පසු දිනපතා නඩු ඇසීම සිඳුකරන බව ද කීවේය.
      
පසුගිය කාලයේදී දුෂණ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීම ප‍්‍රමාද වූ නිසා චෝදනා තිබූ අය තමන්ට විරුද්ධව බොරු චෝදනා කරන බව කියමින් මැතිවරණයේදී වාසි ලබාගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
      
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
      
අගමැතිවරයා හිටපු ජනාධිපතිවරයාව ආරක්‍ෂා කරන බවත් සමහරු කියනවා. ජනාධිපතිතුමාත් එවැනි අදහස් ප‍්‍රකාශ කර තිබුණා නේද ? යනුවෙන්  මෙහිදී මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා මෙසේ පිළිතුරු දුන්නේය.
      
  ‘‘ ජනාධිපතිතුමා කියනවා නම් කියන්නේ මොනවා හරි දැනගෙනයි. රාජපක්‍ෂලා සහ ඔවුන්ගේ ගැත්තන්ට ඇති මිනීමැරුම් සහ මහා පරිමාණ දුෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වූ ආකාරයෙන් කටයුතු සිදුවුණේ නැහැ. එය වුණේ මොන සම්බන්ධයකින්ද කියා මම දන්නේ නැහැ. නමුත් ඉදිරියේදී ඒවා හරියට සිදුවෙනවා.‘‘