ලෝක වෙළෙඳපොලේ තෙල් මිල පහළට


(හර්ෂණ තුෂාර සිල්වා)

ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි රොයිටර් සහ සී.එන්.එන් පුවත් සේවා අද (29) වාර්තා කළේය. 

අවසන් වරට වෙළෙඳපොළ කටයුතු නැවැත්වූ අවස්ථාවේ සිට සඳුඳා, පෙරේදා (28) දිනය අවසන් වන තෙක් කාලයේදී ‘බ්‍රෙන්ට් කෘඩ්’ මිණුම්වලට අනුව තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 1.12කින් (ආසන්න වශයෙන් රුපියල් 180කින්) පහත වැටී තිබේ.

 ඒ අනුව සති තුනකට පසු තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 74.49ක් (ආසන්න වශයෙන් රුපියල් 11,800ක්) ලෙස දැක්වුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. 

එක්සත් ජනපදයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 66.47ක් (ආසන්න වශයෙන් රුපියල් 10,526.85 ක්) ලෙස දැක්වුණු අතර එය සති හයකට පසු වාර්තා වූ පහළම අගය යැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් බැරලයක එම මිල පහත වැටීම ඊට පෙර සතිය සහ සැලකීමේදී සියයට 10ක පහත වැටීමක් යැයි සී.එන්.එන් පුවත් සේවය වාර්තා  කළේය.

බොරතෙල්  මිල මෙලෙස පහත වැටීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව සෞදි අරාබියානු සහ රුසියානු බලධාරීන් උපුටා දක්වමින් රොයිටර් සහ සී.එන්.එන් පුවත් සේවා වාර්තා කර තිබිණි.

මේ සාකච්ඡාවලට ඔපෙක් (ඛනිජ තෙල් අපනයන කරන රටවල සංවිධානය) සාමාජික රටවල් ද එක්වීමට නියමිතය. 

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සඳුඳා(28)  නිකුත් ජාත්‍යන්තර ඛනිජ තෙල් මිල ගණන්වලට අනුව (‘බ්‍රෙන්ට්’ මිණුම්වලට අනුව) තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 75.37ක් (ආසන්න වශයෙන් රුපියල් 11,936.35) විය. එය මැයි 24 වැනිදා පැවැති ඩොලර් 79.33 සිට (ආසන්න වශයෙන් රුපියල් 12563.49) ඩොලර් 3.96කින් අඩුවිය.

මැයි 23 වැනිදා ‘ඔපෙක්’ වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.43ක් (ආසන්න වශයෙන් රුපියල් 12,104.22)  වූ අතර මැයි 25 වැනිදා ඩොලර් 74.87ක් (ආසන්න වශයෙන් රුපියල් 11,857.16) විය. 

මැයි 24 වැනිදා සිංගප්පූරු වෙළෙඳපොළේ පෙට්‍රල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 88.70ක් (ආසන්න වශයෙන් රුපියල් 14,047.42) වූ අතර මැයි 28 වැනිදා 87.55ක් (ආසන්න වශයෙන් රුපියල් 13,865.29) දක්වා පහත වැටිණි. සිංගප්පූරු වෙළෙඳපොළ මිල ගණන්වලට අනුව මැයි 24 වැනිදා එක්සත් ජනපද ඩොලර් 89.48ක් වූ ඩීසල් බැරලයක මිල ඩොලර් 88.78 (ආසන්න වශයෙන් රුපියල් 14,060.09) සහ භූමිතෙල් බැරලයක මිල ඩොලර් 91.84 සිට ඩොලර් 91.07ක් (ආසන්න වශයෙන් රුපියල් 14,422.76)ක් ලෙස දැක්වුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කළේය.