ලෝක බැඞ්මින්ටන් පිටියේ ශ්‍රී ලංකාවට උසස් වීම්
අන්තර්ජාතික බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 28 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා ‘ලංකාදීපයට’ පැවසුවේ බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමට ඇතුළත් රටවල් 100 අතරින් ශ්‍රී ලංකාව පළමු කණ්ඩායම් 30 අතරට පැමිණි පළමු අවස්ථාව ද මෙය වන බවයි. ශ්‍රී ලංකාව පසුගිය වසරවල ශ්‍රේණිගත කිරීමේදී 60 ත් 70 ත් අතර ස්ථානයක පසු වු බවද බස්නායක මහතා පැවසීය.
ලෝක බැඞ්මින්ටන් රටවල් ශ්‍රේණිගත කිරීමේදී චීනය පළමු ස්ථානයේ සිටින අතර ඉන්දියාව හත්වැනි ස්ථානයේ පසුවෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටවල් අතරින් ඉන්දියාවට පමණක් දෙවැනි වී සිටියි.
පසුගිය වසරේ අන්තර්ජාතික තරගවලදී ශ්‍රී ලංකාවට වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් හිමිවු ක‍්‍රීඩාව බැඞ්මින්ටන් කී‍්‍රඩාව බවද බස්නායක මහතා වැඩි දුරටත් පැවසීය. එහිදී ජාතික ශූර නිලූක කරුණාරත්න අන්තර්ජාතික රන් පදක්කම් තුනක් දිනාගත් අතර ඔහු ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ක‍්‍රීඩකයන් 80 අතරට ඒමට ද සමත්විය. නිලූක මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේදී (ක‍්‍රීඩක) 78 වැනි ස්ථානයේ පසුවන අතර ඔහු දැනටත් විදෙස් තරගමාලාවකට සහභාගිවී සිටියි.
නිලූක දැක් වු දස්කම් නිසා ඔහුට මෙම වසරේදී පැවැත්වෙන ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් පිළිබඳව බලාපොරොත්තු රඳවාගත හැකි බවද බස්නායක මහතා පැවසීය. නිලූක ලෝක ශ්‍රේණිගත කිරීමේ 167 වැනි ස්ථානයේ සිට 78 වැනි ස්ථානය දක්වා වේගයෙන් ඉදිරියට පැමිණීම ඔහුට මෙම අවස්ථාවට උදා වීමට ආසන්නම හේතුව විය හැකි බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව බැඞ්මින්ටන් කී‍්‍රඩාවෙන් ඔලිම්පික් වරම් හිමිකර ගත් එකම ක‍්‍රීඩිකාව වන්නේ ජාතික ශූරියක වන තිළිණි ජයසිංහයි. තිළිණි 2008 වසරේදී බීජිං ඔලිම්පික් උළෙලට සහභාගිවුවාය. ඇය ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ (කාන්තා) 100 ත් 110 ත් අතර සිටි බවද වාර්තාවේ.
කෙසේ වෙතත් ක‍්‍රීඩකයන් අතර තරගකාරීත්වය වැඩි බවත්, නිලූක ඉදිරියේදී අන්තර්ජාතික තරග 6 කට සහභාගිවන බැවින් ඔහුට ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් තව දුරටත් ඉදිරියට ඒමේ හැකියාව තිබෙන බවත් බස්නායක මහතා පැවසීය. ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් නොලත් නිල නාම ලේඛනයට ඇතුළත් වීමේ අවස්ථාවට පිවිස සිටින ක‍්‍රීඩකයා නිලූක බව ද වාර්තාවේ.
පසුගියදා (15) යුරෝපා රටක් වන එස්තෝනියාවේ පැවැති අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී නිලූක ලෝකඩ පදක්කම හිමි කර ගත්තේය. ඔහු අවසන් පුර්ව තරගයේදී තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සහ ලෝක ශ්‍රේණිගත කිරීමේ 42 වැනි ස්ථානයේ සිටින පින්ලන්තයේ විලී ලැන්ග් හමුවේ පරාජය විය. නිලූක මේ මස 19 වැනිදා ආරම්භවන ස්විඩන් අන්තර්ජාතික තරගාවලියටද සහභාගිවීමට නියමිතය.

