
(විනීතා එම් ගමගේ)
ලෝක චර්ම රක්ත දිනය අද (14) ට යෙදේ. ලෝක චර්ම රක්ත දිනය මේ වසරේ සමරනු ලබන්නේ තෙවැනි වතාවටය.
ලොව වඩාත්ම පැතිර ඇති චර්ම රෝගය වන්නේ චර්ම රක්ත රෝගයයි. චර්ම රෝග 2500 ක් පමණ ලොව පුරා පැතිර ඇති අතර එම චර්ම රෝගීන්ගෙන් 70% ක් දෙනා චර්ම රක්ත රෝගීන් වෙති.
උපතෙන් මාස තුනකට පසුව ඕනැම වයස් කාණ්ඩයක අයෙකුට චර්ම රක්ත රෝගයක් ඇතිවිය හැකි අතර බොහෝ විට මෙම තත්ත්වයන් ඇති වන්නේ ජානමය හේතු සමගය.
චර්ම රක්ත රෝග සමග ඇදුම හා හතිය යන රෝග ද නිරන්තර සබඳතා පවතින බවත් මෙම රෝග තත්ත්වයන් පරිසර සාධක හේතුවෙන් වැඩිවන බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් කන්නන්ගර මහතා ඊයේ (13) පැවසීය.
කෙසේ වෙතත් චර්ම රක්ත රෝගය කෙනෙකුගෙන් තවත් අයෙකුට බෝ නොවන බව ද වෛද්‍ය කන්නන්ගර මහතා කියා සිටියේය.
මෙවර ලෝක චර්ම රක්ත දිනය නිමිත්තෙන් විශේෂයෙන් මෙම රෝගය පාලනය හා රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් සිදුවන බවත් මොරවක දී රෝග සායනයක් හා මෙම රෝගයෙන් පෙලෙන දරුවන්ගේ චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

