ලොරියකට යටවූ ව්‍යාපාරිකයා මරුට


(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත දී ලොරි රථයකට යටවී ව්‍යාපාරිකයකු අද(4) පෙරවරුවේ මියගොස් ඇති බව දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අඟුලාන දුම්රියපොළ පාර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වූ විදානගමගේ සිරිසේන (64) නමැති පුද්ගලයෙකි.

නොච්චියාගම ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා රැගෙන ආ ලොරියක් ඉතා වේගයෙන් පිටුපසට ගනිද්දි ඒ පිටුපස පයින්  ගමන් කරමින් සිටී ව්‍යාපාරිකයා  ලොරියට යටවී ඇති අතර මෙම රිය අනතුර සිදුවන ආකාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත වෙළඳසලක සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්වී ඇත.

අනතුරෙන් පසුව බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරිකයා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

අදාළ ලොරි රථය සහ රියදුරු අත්අඩංගුවට ගනු ලැබ ඇත.