ලොග්ගල්ලාඔය රක්ෂිතය විනාශ කළ අයට නඩු


(ඩයනා උදයංගනී)

බදුල්ල දිස්ත්‍රික්කයේ ලොග්ගල්ලා ඔය ජලාශ රක්‍ෂිතයේ පසුගිය කාලයේ සිදු කර ඇති විශාල පරිසර හානියට වගකිවයුතු අයට එරෙහිව නඩු පැවරීමට මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන් බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඒ අනුව ලොග්ගල්ලා ඔය පරිසර හානිය සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් වහා ආරම්භ කරනු ඇතැයි ලේකම්වරයා සඳහන් කළේය.

මෙම පරිසර විනාශය සම්බන්ධව මාධ්‍ය මගින් හෙළිදරව් කළ කරුණු අනුව තමන් මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය හරහා සහ ග්‍රාම නිලධාරින් යොදවා ඒ සම්බන්ධව සොයා බැලු බවත්, ඒ අනුව ලොග්ගල්ලා ඔය අවට කැළෑ හෙළිපෙහෙළි කර විශාල පරිසර හානියක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය කර ගත් බවත් ලේකම්වරයා සඳහන් කළේය.

මෙම ප්‍රදේශයයට අයත් ඉඩම් මහවැලි ඉඩම් වුවත් සිදුව ඇති පරිසර හානිය සැළකිල්ලට ගනිමින් තමන් මේ සම්බන්ධව කරුණු දන්වා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට දලිපියක් යොමු කළ බවත් අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙම  පරිසර විනාශය සම්බන්ධව කරුණු හෙළිදරව් කළ මාධ්‍යයට තම කෘතඥතාව පළ කරන බව ද ලේකම්වරයා සඳහන් කළේය.