ලොකුබණ්ඩාර මෛත්‍රීගේ හොඳ කියයි


ඇතැම් පුදු්ගලයන් ජීවිතාන්තය දක්වා ජනාධිපති ධූරයේ රැදී සිටින්නට උත්සාහ දරණ කාලයක තමන් ලද ජනාධිපති ධූරය වසර හතරකට සීමා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටීම ගැන අසා තමා පුදුමයට පත්වූ බවත්, මානව හිමිකමි සුරැකීම පිළිබද හැගීමක් ඇති තවත් නායකයකු  ඇතැයි තමන් නොසිතන බවත් හිටපු කතානායක වී.ජ.මූ.ලොකුබණ්ඩාර මහතා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී කීවේය.

බුදු රජානන් වහන්සේගේ දේශනා තුළ ඇතළත් ව ඇති ආකාරයට පුද්ගලයෙකුට තනතුරක්, බලයක් හිමිවූ විට බලයට තනතුරට ගිජු නොවී, මුලා නොවී, නොඇලීමෙන්  කටයුතු කළ යුතුවා මෙන්ම එන්නා වූ අනතුරු පිළිබඳව ද විමසිලිමත් විය යුතු බව ලොකුබණ්ඩාර මහතා  ප්‍රකාශ කළේය.

ජනාධිපති ධූරයට පත්වූ පසු එමගින් උඩගු නොවී ජනාධිපති මන්දිරය පවා ප්‍රතික්ෂේප කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති,  සියල්ල අතහැරීමේ මේ උතුම් ගුණාංගය ප්‍රගුණ කර ඇතැයි ද ඒ මහතා පැවසීය.

යහපාලනය  අර්ථවත් වන්නේ එබදු පුද්ගලයින් නිසා බව කී ඒ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කරන ලද උදාර සේවය කිසිකලෙක කිසිවෙකුට අමතක නොවන බවද කීය.