ලොකු ලූනු බීජ දෙන බව කියා ලක්ෂ 50 ක් වංචා කරලා


(කාංචන කුමාර ආරියදාස)

දේශීය ලොකු  ලූනු බීජ ලබා දෙන බව පවසා ගොවීන්ගෙන්  ලක්ෂ 50 කට  අධික මුදල් වංචාවෙන්  ලබාගත්  බව කියන පුද්ගලයෙකු සැකපිට දඹුල්ල පොලිසිය අද(18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
දඹුල්ල අවට දේශීය ලොකු ලූනු ගොවීන් 50ක් පමණ දෙනා දඹුල්ල පොලිසිය ඉදිරිපිට පැමිණ මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දඹුල්ල නගරයේ ම පිහිටි ගොවි සමාගමක පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
රජය ලොකු ලූනු කිලෝවක සඳහා රුපියල් 90 ක සහතික මිලක් ලබාදෙන බව පැවසීමත් සමඟ වගාවන් අතහැර දැමූ විශාල ගොවීන් පිරිසක් නැවතත් දේශීය ලොකු ලූනු වගාවට මෙවර නතුව සිටිති.
 
අනුව ගොවි සමාගමක් පවත්වාගෙන යන අයෙකු මෙම ගොවීන්ට දේශීය ලොකු ලූනු බීජ කිලෝවක් රුපියල් දහඅට දාහේ සිට රුපියල් 25,000 දක්වා මිල ගණන් යටතේ විකුණා ඇති බව පොලීසිය කියයි.
 
බිජ  ලබාදෙන බවට පොරොන්දු වී ලක්ෂ 50 කට වැඩි මුදලක් ගොවීන්ගෙන් ලබාගෙන බීජ ලබා නොදී මගහැරී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
එමෙන්ම හා  බීජ පැළවීමේ ප්‍රතිශතයක් නොමැති පැරණි බීජ තොගයක්ද ගොවීන්ට අලෙවි කළ කර මුදල් ලබාගෙන තිබේ.

 ගොවීන් හඬා වැටෙමින්  දඹුල්ල පොලිසිය ඉදිරිපිටට පැමිණ කියා සිටියේ මෙවැනි ජාවාරම් කරුවන් නිසා දේශීය කෘෂිකර්මාන්තය ලොකු ලූනු වගාව සම්පූර්ණයෙන් ම විනාශ වන බවය.
 
මේ  පිළිබඳව  ජනාධිපති  වරයාගේ  හෝ  අවධානය යොමු  කර  නිසි  දඬුවම්  මෙම  ජාවාරම් කරුවන්ට ලබා දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.

අත්අඩංගුවට  පත්ව  අතේ  දඹුල්ල  ප්‍රදේශයේම  පදිංචි   දේශපාලකයකු මෙන්ම ගොවි සමාගම් නියෝජිතයකු බව  දඹුල්ල පොලිසිය කියයි .
 
ඔහු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.