ලේ වල සීනි බලන්න 150ක් වැඩිපුර ගත්තාට ලක්ෂ පහක් දඩ


(නිමල කොඩිතුවක්කු)

රුධිර පරීක්ෂාවකට වැඩිපුර මුදල් අය කළ වවුනියාවේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කිරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පෞද්ගලික රෝහල් සහ රසායනාගාර මඟින් සිදුකරනු ලබන රුධිර පරීක්ෂාවන් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් පනවා ඇති පාලන මිල (උපරිම ගාස්තුව රු. 400/-) ඉක්මවා මුදල් අය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති විධාන අංක 67 මෙම පෞද්ගලික රෝහල උල්ලංඝනය කර ඇති බවත් එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේය.

පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ජූලි 14 දින සිදුකළ විශේෂ වැටලීමකදී, රුපියල් 400/- ක පාලන මිල පැවති රුධිර පරීක්ෂාවක් සඳහා මෙම රෝහල මඟින් රුපියල් 550/- ක මුදලක් අය කිරීමේ චෝදනාව මත මෙම පෞද්ගලික රෝහලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වවුනියාව දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

මෙම නඩුව වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ෙ‍ අධිකරණය විසින් විත්තිකාර රෝහල් සමාගමට රුපියල් 500,000/- දඩ මුදලක් නියම කිරීමට පියවර ගනු ලැබීය.