ලිත් නඩුව ගැන බැසිල් ගොනු කළ පෙත්සමේ තීන්දුව කල් යයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සුගිය ජනාධිපතිවරයේදී  දිවිනැගුම සංවර්ධන  අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැයකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීමට චෝදනා කරමින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා නඩු විභාගය මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාග කිරීම තහනම් කරමින් එම නඩුව වෙනත් විනිසුරු වරයෙකු හමුවට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගොනුකළ පෙත්සමේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 27 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (31) නිවේදනය කළේය.
 

මෙම පෙත්සම් අද ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අතර එහිදී මේ බව නිවේදනය කළේය.
 
 කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ මෙම නඩුව විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය එදින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
 
පෙත්සම්කාර බැසිල් රාජපක්ෂ මහතා අභියාචනධිකරණය හමුවේ කියා සිටින්නේ සිල් රෙදි පිළිබඳ නඩු තීන්දුව ලබා දීමේදී විනිසුරු ගිහාන් කුලතුංග මහතා පසුගිය රජයේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති බවයි.
 
තමා ද පසුගිය රජයේ ප්‍රබල අමාත්‍ය ධූරයක් දැරූ අයෙකු බැවින් තම නඩුව විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගතහොත් තමන්ට අගතියක් සිදුව හැකි බවයි  බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. මේ හේතුවෙන් තම නඩුවේ විභාගය විනිසුරු ගිහාන් කුලතුංග මහතා ගෙන් ඉවත් කර වෙනත් විනිසුරුවරයෙකු ඉදිරියට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.