ලිත් නඩුව අත්හිටුවන අතුරු නියෝගය දිගු වෙයි


(රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)

ජනාධිපතිවරණ පනතට පටහැනිව පසුගිය ජනපතිවරණ සමයේදී ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලමින් පනවා ඇති අතුරු නියෝගය ලබන මාර්තු මස 16 වනිදා දක්වා දීර්ග කිරීමට අභියාචනාධිකරණය අද (01) නියම කළේය.

ජනාධිපතිවරණ පනතට පටහැනිව පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළැයි නීතීපතිවරයා විසින් රාජපක්‍ෂ මහතාට එරෙහිව අදාළ නඩුව පවරා තිබිණි.


ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප‍්‍රීතී පද්මන් සුරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

සිල් රෙදි නඩුවේ විත්තිකරුවන් වු රාජ්‍ය සේවකයින්ට සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා හමුවේ තමන්ගේ නඩුව විභාග කරනු ලැබුවහොත් තමුන්ට සාධාරණය හා යුක්තිය ඉටු වීමේ ප‍්‍රවණතාව  අඩු බව පෙන්වා දෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කොට ඇත.

මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුදර්ශන ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලමින් පනවා ඇති අතුරු නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්නේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා මෙම පෙත්සම ලබන මාර්තු මස 15 වනිදා යළි කැඳවීමටද නියම කළේය.