ලාංකීය කලාකරුවන්ට නෙළුම් පොකුණ


කොළොම්පුර ඉදි කෙරුණු ”නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ ජාතික කලා රඟහල” මෙම මස 15 වැනිදා ජනාධිපතිවරයා අතින් විවෘත කර එම ජාතික සම්පත දැයට දායාද කිරීමට නියමිතව ඇත. ජාතික කලා රඟහල ඉදිකර ඇත්තේ කොළඹ 7, ජෝන් ද සිල්වා සමරු රඟහලට යාබදව ඇති නෝමෑඞ්ස් පිටියෙහිය. මෙය ජාත්‍යන්තර මට්ටමෙහිලා පිළිගැනෙන ඉතා ඉහළ පහසුකම් වලින් සමන්විත රංග ශාලාවකි.  මෙම රඟහල භාර නිලධාරි කර්නල් සෙනරත් නිවුන් හැල්ල මහතා සඳහන් කරන අන්දමට මෙම රංග ශාලාවට අයත් භූමි භාගයේ සම්පූර්ණ ඉඩම් ප‍්‍රමාණය වර්ග මීටර් 21,760 කි. ගොඩනැගිල්ලට යටවූ බිම් ප‍්‍රමාණය වර්ග මීටර් 14,000 කි. මහල් පහකින් සමන්විත මෙ රංග ශාලාව නිර්මාණය කර ඇත්තේ සැලසුම් ශිල්පී මහාචාර්ය නිමල් සිල්වා මහතා අතිනි. ඒ පොළොන්නරුවේ නෙළුම් පොකුණේ ආකෘතියට අනුවය. මෙහි ප‍්‍රධාන ශාලාවේ වේදිකාව දිගින් මීටර් 16 කි. පළල මීටර් 09 කි. නිර්මාණයන්ට උචිත වන ආකාරයට වේදිකා විදුලි බලයෙන් උස් පහත් කිරීමටද හැකියාව ඇත. වාදක මණ්ඩලය සඳහාද උස් පහත් කළ හැකි පීඨිකාවක් ඇත. සුව පහසු ආසන සංඛ්‍යාව 1288 කි. මෙම ආසන පෙළ කොටස් තුනකින් සමන්විතය.  මෙහි ඉහළ මාලයේ විවෘත රංග ශාලාවක් නිර්මාණයකර තිබීම විශේෂත්වයක් වන අතර, ප‍්‍රධාන පිවිසුමද එළිමහන් වේදිකාවක් ලෙස භාවිතයට ගැනීම සඳහාද පහසුකම් සලසා තිබේ. මෙයට අමතරව ප‍්‍රදර්ශන ශාලා දෙකක්, ඇඳුම් මාරු කිරීම සඳහා කාමර දහතුනක්, රැස්වීම් ශාලාවක්, පුහුණුවීම් ශාලාවක්, භෝජනාගාර ඇතුලූ තවත් අංශ ගණනාවක් සඳහාම පහසුකම් සලසා තිබෙන බව කර්නල් සෙනරත් නිවුන්හැල්ල මහතා රසවින්ඳනට පැවසීය.  සම්පූර්ණ රංගන ශාලාවට වායුසමීකරණය කර ඇති අතර සෑම අංශයක්ම කැමරා පද්ධතියකින් සම්බන්ධීකරණය කර තිබීම මෙහි පවතින තවත් විශේෂත්වයකි. චීනxශ්‍රී ලංකා සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් ඉදි කෙරුණු මෙම රංඟ ශාලාවේ සම්පූර්ණ වියදම රුපියල් මිලියන 3080 කි. මහජන චීන සමූහාණ්ඩුව මෙම මුදලින් සියයට හැත්තෑපහක් ආධාර වශයෙන් ලබාදී තිබුණු අතර, ඉතිරිය දේශීය අරමුදලිනි. අමරදාස සිල්වා