ලාංකිකයන්ට වැඩිපුර ජපන් රැකියා දොර ඇරෙයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ජපානයේ නව රැකියා අවස්ථා පුළුල් කිරීම සහ ශ්‍රම වෙළඳපොළට ප්‍රවේශය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව ජපානයේ රැකියා ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. ජූලි 26 සිට අගෝස්තු 3 දක්වා මෙම වැඩසටහන පැවැත්වෙයි.

වැඩසටහනේ පළමු ව්‍යාපාරික ප්‍රවර්ධන සැසිය ජූලි 27 දින ටෝකියෝ නුවරදී සාර්ථකව පැවැත්වුණු අතර, ජපානයේ සේවකයන් බඳවා ගන්නා ආයතන හා සමාගම් 100කට ආසන්න සංඛ්‍යාවක් සහ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනවල නියෝජිතයෝ ඊට සහභාගී වූහ.

මෙම ප්‍රවර්ධන සැසියෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන සහ ජපානයේ සේවකයන් බඳවා ගන්නා ආයතන අතර ව්‍යාපාර- ව්‍යාපාර (B2B) සාකච්ඡා මාලාවක් පැවැත්විණි. එහිදී නව බඳවා ගැනීමේ අවස්ථා හඳුනා ගැනීම, විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා පුළුල් කිරීම සහ ජපානයේ ශ්‍රම වෙළඳපොළ සඳහා දක්ෂ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම පහසු කිරීම සඳහා දිගුකාලීන සහයෝගීතා ගොඩනැගීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. එම B2B සාකච්ඡා වලදී ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන ජපානයේ සේවා යෝජකයන් සහ සේවකයන් බඳවා ගන්නා ආයතන රැසක් සමඟ ඵලදායී සාකච්ඡා පවත්වා, විවිධ ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂකයන් සඳහා තවත් නව රැකියා අවස්ථා සොයා බැලීය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ නායකත්වය සහ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර, එය ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර පවතින සමීප සහයෝගීතාවයේ තවත් සාර්ථක ප්‍රතිඵලයක් ලෙස සැලකේ.