තරිදු ජයවර්ධන
සන්ඩේ ලිඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ගල්කිස්ස පොලිසියේ එවකට සිටි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අද (1) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වලදී සොයා ගත් ඇතැම් සාක්කි මෙම පොලිස් පරික්ෂකවරයා විසින් වසන් කරනු ලැබ ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම ඝාතනයට අදාල ප්‍රබල සාක්කි කිහිපයක් මෙම සැකකරු පොලිසියේ ජ්‍යෙෂ්ඨම නිලධාරීන් කිහිප දෙනෙකුට නීත්‍යානුකුල නොවන ලෙස ලබාදී ඇති බව පරික්ෂණ වලින් අනාවරණය වී යැයි රහස් පොලිසිය පවසයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයෙන් සැකකරු අද (1) අත්අඩංගුවට ගන්නා විට ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන සිටි බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
සැකකාර පොලිස් පරික්ෂකවරයා හෙට (2) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සේනවිරත්න, නියෝජ්‍ය පොලිස්පති සුගත් නාගහමුල්ල යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරි ඩී.එස් තිසේරා මහත්වරුන්ගේ උපදෙස් පරිදි සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.

