
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රුපියල් මිලියන 600 ක් වැය කරමින් සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතිය සිදු කිරීමෙන් රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශ කර ඇත්තේ ඉදිරිපත් වූ සාක්කි සහ ලියකියවිලි මත පදනම්ව යැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අභියාචනාධිකරණය හමුවේ අද (24) කියා සිටියේය.
එබැවින් එම සිද්ධියට අදාළ මහාධිකරණ නඩු විභාගයේදී විනිසුරුවරයා අධිකරණ සංවිධාන පනතට පටහැනිව කටයුතු කර ඇති බවට විත්තිකාර පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා වැඩිදුරටත් පැවසීය.
ඉකුත් 2015 ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා රජයට අයත් රුපියල් මිලියන 600 ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පැනවූ බරපතල වැඩ සහිත සිර දඩුවමින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට මහත්වරුන් විසින් ඉදිරිපත් කළ එම අභියාචන පෙත්සම් අභියාචනාධිකරණයේ අද (24) විභාගයට ගත් අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියා සිටියේය.
කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.
එහිදී නීතිපති වෙනුවෙන් අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මෙසේද කීය.
“රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් අධි චෝදනා තුනක් යටතේ මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරනු ලැබුවා.යම් මුදලක් වංක ලෙස වැරදි පුද්ගලයින් සඳහා වැරදි ලෙස භාවිතා කිරීම අවභාවිතාව යනුවෙන් නීතියේ අර්ථ ගැන්වෙනවා.
මේ නඩුවේ චෝදනා පත්‍ර සලකා බැලීමේදී සිල් රෙදි වැඩසටහන සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රුපියල් මිලියන 600 ක් වංක ලෙස බැංකු ගිණුමට බැර කිරීම විදුලි සංදේශ නියමාන පනතට පටහැනි බව දක්වා තිබෙනවා.
එහිදී එය විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට සිදුවූ වැරදි සහගත පාඩුවක් ලෙස අර්ථ ගැන්විය හැකියි.එම කාරාණා මත පදනම්ව පැමිණිල්ල සිය සාක්කි මෙහෙයවනු ලැබුවා.ඊට සාක්කිකරුවන් ගණනාවක් පැමිණි අතර විත්තිකරුවන්ගේ ප්‍රකාශයන් අධිකරණයට ඉදිරිපත් වුණා.
මේ නඩුව මුලින්ම වෙනත් විනිසුරුවරයෙකු ඉදිරියෙහි විභාග කෙරුණු අතර ඔහු එම තනතුරින් උසස්වීම් ලැබූ පසුව වෙනත් විනිසුරුවරයෙකු වෙත යොමු කළා.
එම විනිසුරුවරයා ලබා දුන් නඩු තීන්දුව අධිකරණ සංවිධාන පනතට පටහැනි බව පෙත්සම්කාර පාර්ශවය මීට පෙර අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළා.
එය වැරදි කරුණු දැක්වීමක් යැයිද නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
නීතිපතිවරයාගේ වැඩිදුරටත් කරුණු දැක්වීම මේ 27 වැනිදාට කල් තැබිණි.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා රජයට අයත් රුපියල් මිලියන 625 ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට විත්තිකාර අභියාචකයින්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා නඩු විභාගයක් පැවතිණි.
එම නඩු විභාගයේ තීන්දුව ඉකුත් 2017 සැප් 07 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී වැරදිකරු බවට තීන්දු කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා මිලියන 2 බැගින් වන දඩ මුදලක් සහ මිලියන 50 ක වන්දි මුදලක් නියම කළේය.
එම දඩ මුදල් හා සිර දඩුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි පෙන්වා දෙමින් අභියාචනා ඉදිරිපත් කරන පෙත්සම්කරුවන් එම දඬුවම අහෝසි කර තමන් ව සියලූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.
විත්තිකාර අභියාචක පෙත්සම්කරුවන් වන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා නීතීඥ කාංචන රත්වත්තේ යන මහත්වරුන් පෙනී සිටියහ.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.

