ලක්‍ෂ 30ක ගිතෙල් රේගුවෙන් අල්ලයි


(යොහාන් භාසුර)

නීති විරෝධීව ආනයන කළ රුපියල් ලක්‍ෂ 30 කට ආසන්න වටිනාකමින් යුත් ගිතෙල් කිලෝ 1500 ක් ශ්‍රී ලංකා රේගු තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශය අද (29) අත්අඩගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත  සිල්වා මහතා පැවසීය.

ඕට්ස් සහ ජූජා ද්‍රව්‍ය යැයි පවසමින් ඉන්දියාවේ කට්ටුපල්ලි වරායේ සිට ආනයන කළ අඩි 20 බහලුමක දීපම් තෙල් ලෙස සටහන් කළ කෑන් 100 ක් ලෙස ඉතා සූක්ෂ්මව මෙම ගිතෙල් තොගය සඟවා තිබූ බවත් එම තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් 2,842,500 ක් වන අතර එම බහලුම රේගුවෙන් නිදහස් කළේ නම් රජයට රුපියල් 1,320,000 ආදායමක් අහිමිවන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කොළඹ 13 ප්‍රදේශයේ ව්‍යාපාරිකයා රේගුවට ඉදිරිපත් කළ රේගු සටහන්කරයේ එම බහලුම තුළ ඕට්ස් කිලෝ 120 ක්, පූජා කුඩු කිලෝ 2500 ක් සහ දීපම් තෙල් කෑන් 1600 ඇතුළත් බව සඳහන් කර තිබූ බවත් ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා රේගුවේ ආර්.සී.ටී. බහාලුම් පරීක්ෂණ අංගනයේදී පරීක්ෂාවට ලක්කිරීමේ මෙම ගිතෙල් තොගය සොයාගත් බවත් රේගුව කියයි.

සිංගප්පූරු ව්‍යාපාරිකයකු විසින් මෙරට ව්‍යාපාරිකයා මෙම භාණ්ඩ තොගය යොමුකර ඇතැයි ද මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශය ක්‍රියාත්මක කරන බවත් රේගුව පවසයි.