ලක්ෂය⁣ට අඩු ණය කපා දැමීමෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කඩා වැටෙන්න යයි


( විනීතා එම් ගමගේ)


මූල්‍ය ආයතනවලින් ලබාදී ඇති රුපියල් ලක්ෂයට අඩු කෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට කටයුතු කරන බවට රජය නිවේදනය කිරීම නිසා එම ආයතන කඩා වැටීමකට ලක්වෙමින් පවතිතැයි මූල්‍ය ආයතන පවසති.


දිස්ත‍්‍රික් 12 ක එම ණය කපා හැරෙන බවට රජය නිවේදනය කිරීමත් සමඟ ඒ ඒ දිස්ත‍්‍රික්වලින් ණය ගෙවීම නවත්වා ඇතැයි ද එම මූල්‍ය ආයතන පවසති. 
විශේෂයෙන් ඒ ඒ දිස්ත‍්‍රික් වල දේශපාලඥයින් ග‍්‍රාම නිලධාරිවරුන් කැඳවා රුපියල් ලක්ෂයකට අඩු ණය මුදල් ගෙවිය යුතු නැතැයි දැන්වීම  නිසා මේ තත්ත්වය වඩාත් බරපතල වී ඇතැයි ද පැවැසේ. 

 
එවැනි වැඩ පිළිවෙළක් ඇත්නම් රජය එය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර අදාළ ණය මුදල් තම ආයතන වෙත  පියවන ආකාරය පිළිබඳ යම් වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් පසු එය ප‍්‍රකාශයට පත් කළේ නම් මෙම අවදානම ඇති නොවන බව මූල්‍ය සමාගමක විධායක නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 


උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල දිස්ත‍්‍රික් 12 ක මෙම ණය මුදල් කපා  හැරීම සිදුකරන බවට නිවේදනය කිරීමත් සමගම එම දිස්ත‍්‍රික් වල ණය ගෙවීම් සියයට 60 කින් පමණ අඩු වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. 


මෙම ණය කපා හැරීමට තීරණය කර ඇති දිස්ත‍්‍රික් 12 හි රුපියල් ලක්ෂයට අඩු ණය දීම් රුපියල් බිලියන 25 ක් ඉක්මවන බව ද හෙතෙම සඳහන් කළේය. 
මූල්‍ය සමාගම් 42 ක් මඟින් මෙම දිස්ත‍්‍රික් 12 හි ණය නිකුත් කර ඇතැයි ද ඔහු කීය.


විශේෂයෙන් මඩකලපුව දිස්ත‍්‍රික්කයේ මෙම තත්ත්වය වඩාත් බරපතල යැයි කී එම විධායක නිලධාරියා එහි දේශපාලඥයින් මෙම නිවේදනය දේශපාලන වාසි ලබා ගැනීම සඳහා යොදා ගෙන ඇතැයි ද පැවැසීය.


එහි ණය වාරික එකතු කරන්නට යන තම ආයතන සේවකයින්ට ඒ සඳහා ගම්වලට නොඑන්නැයි ගම්වල ණය  ලබා ගත් ජනතාව තර්ජනය කරන බවත් එය නොතකා ණය වාරික එකතු කළ කණ්ඩායම් නායකයින්ට දේශපාලඥයන් තර්ජනය කරන බවත් හෙතෙම සඳහන් කළේය. 


මූල්‍ය සමාගම් මෙම කෂුද්‍ර මූල්‍ය ණය නිකුත්  කරනු ලබන්නේ ජනතාවගෙන් ලබා ගන්නා තැන්පතු යොදා ගෙන බවත් මේ අවදානම් සහිත තත්ත්වය යටතේ එම ආයතන කඩා වැටීමෙන් තැන්පතුකරුවන්ට සිය මුදල් අහිමිවීම වැළැක්විය නොහැකි  බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය.