ලක්ෂපාන - කැනියොන් - කොත්මලේ ජලාශවල වාන්දොරටු විවෘත කෙරේ


(රංජිත් රාජපක්ෂ)                       

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (12) උදෑසන සිට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්, කැනියොන් ජලාශයේ එක් වාන් දොරටුවක් සහ ඉහළ කොත්මලේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති අතර විමලසුරේන්ද්‍ර ජලාශය අද අලුයම සිට වාන් දමමින් පවතියි.

ලක්ෂපාන,කැනියොන්  ජලාශ වල වාන් දොරටු විවෘත කිරීමෙන් සහ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම නිසා කැලණි ගගේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව අපදා කළමනාකරණ ඒකකය පැවසීය.

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනා ගමනයට ද බාධා පැමිණ තිබුණි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට අද අලුයම සිට පවතින වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය මේ වන විට තරමක් පහව ගොස් ඇති අතර තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබුණහොත් එම ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට සිදුවන නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ ඒකකය ජනතතාවගෙන් ඉල්ලා සිටියි.