ලක්ෂ පහක වට්ටක්කා වගාව දන්දෙයි


(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

අක්කර පහකින් යුත් විශාල ගොවිබිමක වගා කළ වට්ටක්කා අස්වැන්න වෙසක් පොහෝ දින (29) දන්දීමට කටයුතු කළ ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පදිංචි පී.ජී. ජයවීර නමැති තරුණ ගොවි මහතකු පිළිබඳව ලංකාදීපයට වාර්තා වේ.

රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වැයකොට වට්ටක්කා වගා කළ ද මේ දිනවල පවතින වෙළෙඳ පොළ තත්ත්වය අනුව ඒවා විකුණා ගත නොහැකි හෙයින් තම මියගිය මාපියන්ට පින් පතා වට්ටක්කා දන්සලක් පැවැත්වීමට පියවර ගත් බව ජයවීර ගොවි මහතා පැවැසීය.

අක්කර පහේම මෙවර වට්ටක්කා අස්වැන්න ඉතා සරුවට තිබුණ බවද අලෙවි කළ නොහැකි හෙයින් ඒවා නෙළීම අතහැර දැමීමට මුලින්කල්පනා කළ නමුත් පසුව දන්සලක් දීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

එම වට්ටක්කා තොගය ප්‍රදේශයේ තවත් ගොවි මහත්වරුන් පිරිසක් සමග එක්ව ටැක්ටර් හා ලොරිවල පටවා ගෙන ගලේවෙල, කලාවැව ප්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්ධියටම ගෙනැවිත් එතන දන්සලක් පැවැත්වූ බවද ඔහු කීය.

මේ අතර වාහනවලින් පැමිණි පිරිස් හා දුරබැහැර ප්‍රදේශවලින් වන්දනා ගමන් යන පිරිස් දන්සැල වෙත පැමිණ වට්ටක්කා රැගෙන යන අයුරු දක්නට ලැබිණි.

ජයවීර මහතාගේ මෙම අපූරු දන්සැලට ගොඩවදින ඇතැම් පිරිස් ඔහුට සුබපතමින් හා තවත් පිරිස් කෘෂිකර්ම බලධාරීන්ට දොස්පවරමින් පිටව යන අයුරුද දැකගත හැකි විය.

ජයවීර මහතාගේ සද්ක්‍රියාව පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී ජයවීර මහතා මෙසේ පැවසීය.

අපේ ප්‍රදේශය ඒ කියන්නේ දේවහූව ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ගොවි ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක්. එහෙත් දැන් දැන් බොහෝ දෙනෙකුට ගොවිතැන් එපා වෙලා. මමත් ඉදිරි කන්නවල ගොවිතැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෙනත් රැකියාවක් සොයා ගන්නවා යැයිද ඔහු කීය.