ලක්ෂ අසූ පහක රන් අර පැත්තෙන් එළියට


රුපියල් ලක්ෂ අසූ පහක් වටිනා රත්තරන් කැබැලි 17 ක්  ගුද මාර්ගයේ සහ යටි පතුලේ අලවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයෝ දෙ‍දෙ‍නෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරුවෝ ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචිකරුවෝ වෙති.  අත්අඩංගුවට ගත් රන්  කැබලි වල බර ග්‍රෑම් එක්දාස් හත්සීයකි.  

මොවුන් දෙදෙනා  වැදගත් ව්‍යාපාරිකයින් ලෙසින් ඇද පැලද  ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පත් ලබාගෙන    ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඊයේ රාත්‍රියේ 10.30  ට පමණ  මෙරටට පැමිණ ඇත.   පසුව  ඔවුන් ගුවන්තොටුපොළෙන් පිටතට නොගොස්  අළුයම තෙක්  එහිම රැදී සිට ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ මෙම රන් කැබලි ගුවන්තොටුපොළ තුලදී  යම්  කිසිවෙකු විසින් මොවුන්ට ලබා දී ඇති බවට සැකකරන බවයි.   රන් කැබලි ඔතාගෙන යාමට කාබන් කොලද, අලවාගෙන  යාමට  ගම්ද මොවුන් ලග තිබී සොයාගත් බව  රේගුව කියයි.

නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන විමල් පියසුමන, නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක හසංක ගුරුසිංහ  යන නිළධාරීන් විසින් සුක්ෂම මෙහෙයුමක් සිදු කර සැකකරුවෝ නැවත සිංගප්පුරුව බලා යාමට ගුවන්යානයට ගොඩ වීමට යත්ම  අත් අඩංගුවට ගෙන  ඇත.

මේ පිළිබද විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ  ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.