ලක්ෂ 9 යත් නැහැ, ගෙදර යන්නත් නැහැ


රුපියල් ලක්ෂ නමයක් ඒජන්තවරයෙකුට පුද කොට නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාව බලා ගොස් වසර 3 ක් එහි තැන තැන රැකියා කළ ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටුවහල් කොට  ආපසු  මෙරටට එවනු ලැබ සිටියදී  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු 2012 ජුනි 14 වෙනි දා තවත් 27 දෙනෙකු සමග බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාව බලා ගොස් තිබේ.

මේ සදහා ඔහු ඇතුළු පිරිස රුපියල් ලක්ෂ නමය බැගින් උඩප්පුව ප්‍රදේශයේ ඒජන්තවරයෙකුට ගෙවා ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.

ඕස්ට්‍රේලියාවට ගිය පසු කණ්ඩායම වෙන් වී ඇති අතර සැකකරු  එතැන් සිට එහි  නිවෙස් වල විවිධ වැඩ කරමින් වසර තුනක පමණ කාලයක්  එහි ගතකර ඇත. පසුව එහි  ගෙවන ජීවිතය පිළිබද කළකිරී නැවත ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බව ඔහු එරට බලධාරීන්ට දැන්වීමෙන් අනතුරුව මෙලෙස ආපසු මෙරටට පිටුවහල් කර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපරේතමේන්තුව මේ  පිළිබද කරන ලද මුලික විමර්ශණ වලින් අනතුරුව සැකකරු මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.