
(ඩයනා උදයංගනී)
මාසිකව රුපියල් ලක්ෂ 80 ක කුලියක් ගෙවමින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය වහාම බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයට රැගෙන යන්නැයි වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා එම අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ.
දැනට ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය පවත්වාගෙන යන්නේ ගමේ මිනිසෙකුට ඒමට හෝ නොහැකි තැනක බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.
රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා මේ බව පවසා ඇත්තේ එම අමාත්‍යාංශයේ දී පෙරේදා (17) වැඩ බාරගැනීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදීය.
මෙම අමාත්‍යාංශයේ ඇමැති මණ්ඩල කාර්යාලය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ 37 වැනි මහලේත්, අමාත්‍ය කාර්ය මණ්ඩලය එහි බටහිර කුළුණේ හය වැනි මහලේත් ස්ථාපිත කර ඇති අතර එයට මාසිකව රුපියල් ලක්‍ෂ 80 බැගින් ගෙවමින් ඇතැයි එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙතරම් මුදලක් ගෙවා එහි සිටීම ගැන අමාත්‍යාංශ නිලධාරීන් ලැජ්ජා විය යුතු යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසූ බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
තමන් ජාතික ධනය විනාශ කිරීමට සූදානම් නැති බව ද ප්‍රසන්න රණවීර මහතා මෙහිදී පවසා තිබේ.
මෙම කාර්යාලවලට කුලිය ගෙවන මුදලින් මසකට ස්වයං රැකියා 80 බැගින් ලබාදිය හැකි බව ද සඳහන් කර ඇති රණවීර මහතා මහපොළවට බැස වැඩකිරීමට බැරි අය අමාත්‍යාංශයේ සිටීනම් ඔවුන් තීරණයක් ගත යුතු බවත්, එවැනි අය සමඟ ඉදිරියට යා නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ බව ද එම ප්‍රකාශකයා කීවේය.

