ලක්ෂ 6ක හෙරොයින් සමඟ අඹු සැමි යුවළක් අත්අඩංගුවට



(එච්  එම්  ධර්මපාල)

දෙහිවල පොලිස් වසම තුළ මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරතව සිටි අඹුසැමි යුවලක් රුපියල් ලක්ෂ 6කට අධික වටිනා හෙරොයින් ග්‍රෑම් 40 ක්, ජංගම දුරකථන දෙකක් හා ත්‍රිරෝද රථයක්ද සමග දෙහිවල දුම්රියපල පාර ප්‍රදේශයේදී දෙහිවල පොලිස් අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

දෙහිවල ඕබන් පෙදෙස පදිංචි  සැකකාර සැමියා 30 හැවිරිදි වියේ පසුවන අතර, බිරිඳ වයස 27 හැවිරිදි තැනැත්තියකි. මෙම ත්‍රිරෝද රථය යොදාගෙන සැකකාර යුවල දෙහිවල ප්‍රදේශයටම කලක පටන් හෙරොයින් බෙදාහැර ඇති බව පොලීසිය පවසයි.

ත්‍රිරෝද රථයකින් හෙරොයින් මත්කුඩු රැගෙන දුම්රියපළ පාර ප්‍රදේශයට යුවළක් ගමන් කරන බවට පොලීසිය ලද තොරතුරකට අනුව රැකසිට කළ වැටලීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.