
(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් මිලියන හයකට අධික වටිනාකමින් යුත් මත්පෙති 60000ක් මන්නාරම , පේසාලේ නඩුකුඩා ප්‍රදේශයේදී අද (03) අලුයම සොයාගත් බව යුද හමුදාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම යුද හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත මන්නාරම යුද හමුදාව නඩුකුඩා වෙරළ ආසන්නයේ කැළෑ ප්‍රදේශයක සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ මත්පෙති තොගය සොයාගත් බව සඳහන් කළේය.
සෝදිසි මෙහෙයුම සිදුවන අවස්ථාවේ මත්පෙති රැගෙන ආ සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් සිටි අතර විශාල පෙට්ටි දෙකක් තුල ගබඩාකර තිබූ මත්පෙති සොයාගත් බව පැවසීය.
ඉන්දියාවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙම මත්පෙති තොගය මිලදී ගෙන රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණයවූ බවත් යුද හමුදාව පැවසීය.
සොයාගත් මත්පෙති තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානයට භාරදීමට නියමිතව තිබුණි. මන්නාරම යුද හමුදා බුද්ධි නිලධාරීන් , තලෙයිමන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

