පියල් කිත්සිරි
රජයේ රැකියා ලබාදෙන බව පවසමින් සහ දේශපාලන කටයුතු වලට හා වාහනයක් මිලදී ගැනීමට බව පවසමින් රුපියල් ලක්ෂ විසි අටකට අධික මුදලක් වංචා කළැයි සැකපිට අත්අඩංගුවගත් ඌව පළාතේ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයෙකු රුපියල් ලක්‍ෂ 30 ක ඇප මත මුදාහැරීමට බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා අද (05) නියම කළේය.
බදුල්ල, හාලිඇල සහ පස්සර පොලිස්ථාන වලින් ඉදිරිපත් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වු ආරුමුගම් ගනේෂමුර්ති මහතා මෙලෙස ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
පස්සර පොලිසියේ කොස්තාපල් සමන් මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකාර ආරුමුගම් ගනේෂමුර්ති මහතා රජයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්‍ෂයක් ද තවත් පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000/-ක්ද ලබාගෙන වංචා කොට ඇතැයිද එම පැමිණිලි වලට අදාළව සැකකරු අත්අඩංගුවට ගත්තේ යැයිද පැවසීය.
සැකකාර ගනේෂමුර්ති මහතා රජයේ බැංකුවක ගිණුමට රුපියල් ලක්‍ෂයක් තැන්පත් කරවාගෙන ඇති බවත් ඉන්පසු අවස්ථාවකදී ඔහුගෙන් රුපියල් 25,000/- බැගින් අවස්ථා දෙකකදී රුපියල් 50,000/- ක් ලබාගෙන ඇති බවත් දැනුම් දුන් කොස්තාපල් සමන් මහතා මෙම සිද්ධීන් වලට අදාළ විමර්ශන කටයුතු අවසන් කොට ඇතැයිද කීය.
බදුල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ සැරයන් පියසේන මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකාර ආරුමුගම් ගනේෂමුර්ති මහතා දේශපාලන කටයුතු වලට හා වානයක් මිලදී ගැනීමට බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් මුදල් ලබාගෙන වංචා කළ බවට තමන්ට පැමිණිලි ලැබී ඇතැයි පැවසීය.
දේශපාලන කටයුතු වලට බව පවසමින් සැකකරු එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 9,70,000/-ක මුදලක් ලබාගෙන ඇති බවත් වානයක් මිලදී ගැනීමට බව පවසමින් සැකකරු තවත් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 15 ක මුදලක් ලබාගෙන ඇති බවත් දැනුම් දුන් සැරයන් පියසේන මහතා ඔහු අදාළ පුද්ගලයින්ට එම මුදල් වංචා කොට ඇතැයිද දැනුම් දුන්නේය.
හාලිඇළ පොලිසියේ සැරයන් (59200) ජයප්‍රකාශ් මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකාර ආරුමුගම් ගනේෂමුර්ති මහතා රජයේ රැකියා ලබාදෙන බව පවසා හාලිඇළ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්‍ෂය බැගින් ද තවත් පුද්ගලයෙකුගෙන් රුපියල් 1,30,000/-ක්ද ලබාගෙන වංචා කොට ඇතැයි පැවසීය.

