ලක්ෂ 10 මත්පෙති සමග කතක් සැකපිට


(යොහාන් භාසුර සහ බණ්ඩාරගම බිමල් ශාමන් ජයසිංහ)

සමාජ ශාලා ඇතුළු සාදවලට සහභාගි වන පුද්ගලයින් විකිනීම සඳහා සඟවාගෙන සිටි රුපියල් ලක්‍ෂ 10 කට අධික වටිනාමකින් යුත් මත්පෙති තොගයක් සමඟ කාන්තාවක් තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම මත්පෙති ජාවාරමේ මහමොළකරු අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය විමර්ෂණ මෙහෙයවන බව එහි උසස් නිලධාරියකු පැවසීය.

තලංගම පොලිසිය ලද තොරතුරට අනුව මහරගම, කලල්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්පෙති 32 ක් සමඟ එම කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙලිවූ තොරතුරු මත පන්නිපිටිය, ඇරැව්වල පිහිටි ඇයගේ නිවස පරීක්‍ෂා කිරීමේදී එහි තිබී තවත් මත්පෙති 9400 ක් පොලිසිය සොයා ගත් බව එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

තලංගම පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නවීන්ද්‍ර දිල්රුක්‍ෂ මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ලක්‍ෂිත ගුණරත්න මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ අදාල විමර්ශන සිදුකරයි.