
(එම්.සුසිල් ප්‍රියන්ත)
තමන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ ඒකකයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් බව පවසමින් බලපිටියේ පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පම් ක් ඉල්ලූවේ යයි කියමින් සැකපිට ප්‍රශ්න කිරිම සදහා අත්අඩංගුවට ගෙන අද (19) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් ස්ථානාධිපති හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු සැකකරුවන් හය දෙනා හෙට (20) දක්වා රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකර මහතා අහුන්ගල්ල පොලීසියට අවසර ලබා දුන්නේය.
මෙසේ රදවා තබා ගැනිමට අවසර ලබා දුන්නේ කොයියාදෙණිය වැටලෝන්වත්ත පදිංචි නුවරඑළිය දිසාවේ පොලිස් ස්ථානයක රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයෙකු, අහංගම කරන්දාගොඩ පදිංචි හබරාදූව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු, හල්ඔළුව වරාතැන්න පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකු, මහනුවර වැලි ව්‍යාපාරිකයෙකු, පුකුරැස්ස රජතාලාව පදිංචිකරුවකු සහ කිරිබත්කුඹුර පහලවත්ත පදිංචිකුරුවකුය.
මේ සැකකරුවන් හය දෙනා මෝටර් රථයකින් පෙරේදා (17) රාත්‍රි 9.30 ට බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාරස්ථනයට පැමිණ තමන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කල විශේෂ පොලිස් කණ්ඩායමක් බව පවසමින් විමලවාස තිස්ස හිමියන් කුඩු වෙළදාමට සම්බන්ධ යයි තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබද පරීක්ෂණය යටපත් කිරීමට නම් සිය කණ්ඩායමට රුපියල් ලක්ෂ 10 ක් ලබා දෙන ලෙසත් නැත්නම් උන්වහන්සේ රැගෙන යාමට සිදුවන බවත් පවසමින් කප්පම් මුදල් ඉල්ලා ඇති බව පොලීසිය කියයි.
මෙයින් බියට පත්වූ තමන් වහන්සේ කවදාවත්ම කුඩු නොවිකුණන බවත් එබැවින් මේ චෝදනා සියල්ලම බැහැර කරන බවත් ඒ නිසා තමන් වහන්සේ රැගෙන නොයන ලෙසත් දැනට තමා ලග විහාරස්ථානයේ ශාලාවක වහලක් ගැසීමට ඇති රුපියල් 150000 ක මුදලක් ලබාදිය හැකි බවත් විමලවාස තිස්ස හිමියන් පවසා ඇති බවත් පොලීසිය කියයි.

