ලක් රජයේ සංහිඳියා වැඩ සටහන අගය කරනවා - නේස්බි සාමිවරයා


ශ්‍රී ලංකා රජයේ සංහිඳියා වැඩ සටහන අගය කරන බවත් අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද වැඩසටහන ඉතා සාර්ථක බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බාරෝන් නේස්බි සාමිවරයා පවසා ඇත.බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙමින් නේස්බි සාමිවරයා ඒ බව කියා තිබේ.  
 
මෙම හමුවේදී නේස්බි සාමිවරයා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන අගය කර තිබෙන අතර සත්‍ය මිතුරකු ලෙස සෑමවිටම ශ්‍රී ලංකාවට සහාය දෙන බව ද ප්‍රකාශ කර තිබේ. 
 
ශ්‍රී ලංකවේ සිදුවන ක්‍රියාකාරකම් සහ තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපය සහ ජීනිවා නුවර මානව හිමිකම් කවුන්සිලයට සවිස්තර සහ පැහැදිලි තොරතුරු නොලැබීම සහ ලබා නොදීම කනගාටුවට කරුණක් බව ප්‍රකාශ කර තිබෙන නේස්බි සාමිවරයා යුරෝපයට සහ ජීනිවා නුවරට ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමට පූර්ණ සහයෝගය දෙන බව පවසා ඇත. 
 
ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය, සංවර්ධන සහ සංහිඳියා වැඩසටහන පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ ලෝකයා දැනුවත් කිරීමට පුද්ගලිකව මැදිහත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදි නේස්බි සාමිවරයාට කෘතඥතාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. 
 
055