අම්පාර රජගල බෞද්ධ ආශ‍්‍රම භූමියේ ප‍්‍රතිෂ්ඨාපන කටයුතු සහ අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ පුරාවස්තූන් සංරක්ෂණය වැඩිදියුණු කිරීමට ඇමෙරිකා ඩොලර් 300,000 ක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 42.1 ක්) ප‍්‍රදානය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ ආගමික උරුමයන් සංරක්ෂණය කිරීමට සහාය දීමේ අරමුණෙන් ඇමෙරිකාව මෙම මුදල ප‍්‍රදානය කළ බව මෙරට ඇමෙරිකා තානාපති කාර්යාල කියයි.
මෙම ප‍්‍රතිපාදන මුදලින් ඇමෙරිකා ඩොලර් 150,000ක් සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපති අරමුදල හරහා රජගල බෞද්ධ ආශ‍්‍රම භූමියේ ප‍්‍රතිෂ්ඨාපන කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ප‍්‍රදානය කරන බව එම තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියි. මීට අමතරව තවත් ඇමෙරිකා ඩොලර් 150,000ක ප‍්‍රතිපාදන අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ පුරාවස්තූන් සංරක්ෂණ සඳහා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දීමට නියමිතය.
මෙරට ආගමික සහ සංස්කෘතික ස්ථාන සංරක්ෂණය කිරීම වැදගත් බව ඇමෙරිකාව වටහාගෙන තිබෙන බවත්, මෙම සහයෝගය හරහා සංස්කෘතික දැනුවත්වීම සහ සංචාරක කර්මාන්තයට නව ජවයක් ලබාදීමත්, ජනතාව අතර අවබෝධය වර්ධනය කිරීමත් සිදුවන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් පවසයි.

