තිළිණි ද සිල්වා
සීෂෙල්ස් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු වල නිරතව සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ ලාංකික ධීවරයින් අට දෙනා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇතැයි සීෂෙල්ස් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි
මුහුදු සීමා උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ චෝදනා යටතේ මෙම ධීවරයින්ට එරෙහිව නඩු පවරා තිබූ අතර ඊයේ (13) ඔවුන් එරට අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව තවදුරටත් බන්ධනාගාර ගත කෙරිණි.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ ඉකුත් දෙසැම්බර් 20 වැනිදා සීෂෙල්ස් හි ඩෙනිස් දූපත් ආසන්නයේදී එරට වෙරළ ආරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ධීවරයින් පිරිසකි.
එරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු වල නිරතව සිටියදී එරට බලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ මොවුන් අට දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට වික්ටෝරියා වරායේ රුඳවුම් බාරයට ගෙන පසුව ඉකුත් මස 23 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.
මෙම ලාංකික ධීවරයින්ට එරෙහි නඩු විභාගය ලබන 19 වැනිදා යළි කැඳවීමට නියමිතය.

