ලක් ඉතිහාසයේ ලොකුම අල්ලස ගත් රේගු නිලධාරීන් සිව් දෙනාට ඇප


(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 12 හමාරක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින රේගු අධිකාරීවරුන් සිව්දෙනා කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් කොන්දේසි සහිත ඇප මත මුදාහරින ලදී.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් මෙය ඉල්ලා ලබාගැනීම කුමන්ත‍්‍රණකාරීව සිදුකළ බව ඇතුළු චෝදනා 16 යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා ඇති නඩුවේ අධිචෝදනා පත‍්‍ර බාරදීමෙන් අනතුරුව විත්තිකරුවන්ට විදේශගතවීම තහනම් කරමින් නියෝගයක් පැනවු විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමටද නියම කළේය.

දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා,  රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික‍්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක‍්‍රම ජිනදාස යන අයට එසේ ඇප නියම කෙරිණි.

2015 ජුනි මස 22 වැනිදාත් 2015 ඔක්තෝම්බර් මස 15 වැනිදාත් අතර කාලයේ කොළඹ පන්චිකාවත්තේදී රුපියල් මිලියන 150ක මුදලක් දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව ඉල්ලා ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කළ බවට අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා  විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කොට ඇත.