ලංසු තැබීමේ ලියවිල්ල මාර්තු 31 වැනිදාට පෙර
වසර 2017 දී පැවැත්වෙන තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ ලංසු තැබීමේ ලියවිල්ල සකස් කිරීම ආරම්භ කළ බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.
තුන් වැනි වරටත් පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ලංසු තැබීමේ ලියවිල්ල ලබන මාර්තු 31 වැනිදාට පෙර ආසියානු ඔලිම්පික් සභාවට බාර දිය යුතුය.
ක්‍රීඩා උළෙලේ සත්කාරය නිසැකවම ශ්‍රී ලංකාවට හිමි වන බවත් ඒ පිළිබඳව ජාතික ඔලිම්පික් කමිටුවේ විශ්වාසය 95%ක් වන තරමට මේ වන විට තහවුරු වී තිබෙන බවත් ලංකාදීපය කළ විමසුමක දී හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ වැදගත්කම වන්නේ ආසියාවේ රටවල් ලෝක ජනගහණයෙන් තුනෙන් දෙකක්ම නියෝජනය කරන බැවිනි.
මෙම ක්‍රීඩා උළෙලට පැමිණෙන රටවල් තමන් සහභාගි කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් වෙනුවෙන් ගුවන් ප්‍රවේශ පත්‍රය වියදම මෙන්ම දෛනික වියදම් වශයෙන් ඇමරිකානු ඩොලර් 50ක් දැරිය යුතුය.
”මේ ක්‍රීඩා උළෙලට සත්කාරය දරන රටට වැය වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරය දැරීමට යන වියදමින් දහයෙන් එකක් තරම් වන මුදලක්. ඒ නිසා ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ දී සංවිධාන කිරීම පහසුවෙන් කරන්න පුළුවන්,” යයි ද ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.
2017 දී ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරය දැරීමට මලයාසියාව හා වියට්නාමය උත්සාහ කර ඇතත් ශ්‍රී ලංකාව ඒ සඳහා උනන්දු වන්නේ නම් ශ්‍රී ලංකාවට සහයෝගය දීමට එම රටවල් ප්‍රතිඥා දී තිබෙන බව ද වාර්තා වේ.
එම තත්ත්වය තුළ ක්‍රීඩා උළෙලට ලංසු තැබීමේ ලියවිල්ල ඉතා ඉක්මණින්ම සූදානම් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ. ඒ සඳහා සහභාගි වන රටවල් ගණන 45කි.
පළමු ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල වසර 2009 දී සිංගප්පූරුවේ දී පැවැත්වෙන විට ඔවුන්ට සත්කාරය දැරීමට ලැබී ඇත්තේ වසරක් වැනි කෙටි කාලයකි. එහෙත් ශ්‍රී ලංකාවට ඒ සඳහා වසර පහක් වැනි දීර්ග කාලයක් ලැබී තිබේ.

