රංජන් කස්තුරි
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් කණ්ඩායමකට ලබාදුන් සියයට 10ක වැටුප් දීමනාව තවදුරටත් ඉදිරි මාස කිහිපය වෙනුවෙන් ලබාදීමටත් රජය තීරණය කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසකගේ වැටුප් විෂමතාවය මගහැරවීමේ තාවකාලික පියවරක් ලෙස ඔවුන්ට ඉකුත් 2017 ජනවාරි මාසයේ සිට සියයට 10ක වැටුප් දීමනාවක් ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළ අතර එම දීමනාව ඉකුත් දෙසැම්බර් මාසයෙන් පසුව අවසන් කෙරිණි.
වැටුප් විෂමතාවය නොවිසඳා සියයට 10 දීමනාව නතර කිරීමට එරෙහිව විදුලි සේවකයෝ ඉකුත් සතියේ විරෝධතාවයකද නිරත වූහ.
අග්‍රාමාත්‍ය කාර්යාලය අද (22) විදුලි සේවක වෘත්තීය සමිති නියෝජිතයින් කැඳවා සාකච්ඡා කළ අතර එහිදී සියයට 10 දීමනාව තවත් මාස කිහිපයක් යනතුරු ගෙවීමට තීන්දුවකට එළැඹි බවද ලංවීම ජාතික සේවක සංගමයේ සංවිධායක උපුල් වික්‍රමාරච්චි මහතා ලංකාදීපයට පැවසීය.

