(ශිරාන් රණසිංහ)
විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ජෙනරේටර් පනහක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා තෝරාගත් සමාගමට එරෙහිව වැඩිමිල ටෙන්ඩරය ඉදිරිපත් කළ සමාගම අධිකරණයට සහ අල්ලස් හෝ දූෂණ කොමිසමට යෑම නිසා එම ජෙනරේටර් මිලදී ගැනීම නැවතී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා ලංකාදීපයට පැවැසීය.
රුපියල් මිලියන 3500 ට ටෙන්ඩරය ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය නොදී රුපියල් මිලියන 2200 කට ටෙන්ඩරය ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කිරීමෙන් පසුව මිල වැඩියෙන් සඳහන් කළ සමාගම ඊට එරෙහිව මෙම පියවර ගත් බවද ලේකම්වරයා කීය.
හදිසි විදුලි බිඳවැටීම්වලදී භාවිත කිරීම සඳහා විදුලිබල මණ්ඩලයට මෙම කුඩා ජෙනරේටර් අවශ්‍ය වන බවද තාක්ෂණික කමිටුවේ සහ ටෙන්ඩර් මණ්ඩලයෙන් අනුමැතියට යටත්ව මෙම ටෙන්ඩර් කැඳවීම ටෙන්ඩර් පටිපාටියට අනුව සිදුකළත් අදාළ මිලදී ගැනීම් මේ නිසා නතරවී ඇති බවද බටගොඩ මහතා තවදුරටත් පැවැසීය.