ලංගම බසයේ බොරු බෝම්බයක් තබා ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට


(සනත් ගමගේ)

අම්බලන්තොට කොග්ගල්ල ලංගම බස් රථයේ බොරු බෝම්බය තැබූ පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.

අම්බලන්තොට කොග්ගල්ල හංදියෙන් අම්බලන්තොට නගරය බලා අද(25) උදේ ධාවනය වීමට නියමිතව තිබූ ලංගම බස් රථය තුළ අයිතිකරුවෙක් නොමැති පාර්සලයක් තිබීම සම්බන්ධයෙන් බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරින් ගෙන්වා පරීක්ෂා කිරීමෙන් පසු එම පාර්සලයේ පරණ පරිගණක කොටස් කිහිපයක් තිබී  හමු වී තිබේ.

අනතුරුව එය අම්බලන්තොට පොලිසිය භාරයට ගෙන සිදුකළ පරීක්ෂණවලින් පසුව මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. 

සැකකරු 26 හැවිරිදි තැනැත්තෙකි.

පරණ යකඩ බඩු එකතු කරන්නෙක් ලෙස කටයුතු කරන මෙම පුද්ගලයා යුධ හමුදාවේ සේවය කල ඉන් පලා ආ අයෙක් බවද පොලීසිය කියයි.
 
අම්බලන්තොට වරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා මෙම සිද්ධිය සිදුවන දිනට පෙර දින වන තෙක් කොණ්ඩය  හා රැවුල දිගට වවා  කොණ්ඩය ඉහළට බැඳ තිබූ අතර, ඉන් පසු කොණ්ඩය හා රැවුල සම්පූර්ණයෙන්ම කපා ඇති බව දැනට සිදු කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ද පොලීසිය කියයි.