ලංගම බසයට බෝම්බ ගැසූ කොටියාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්


(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් ඉලක්ක කොට ‘ක්ලේමෝ’ බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කොට 30දෙනකු ඝාතනය කොට තවත් 42කට බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාවන්ට වරදකරු වු කොටි සාමාජිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද(8) නියම කළේය.

කොටි ත‍්‍රස්ත‍්‍රවාදීන් විසින් දකුණු ප‍්‍රදේශවල ජනතාව භීතියට පත් කරමින් මීට වසර 10කට ඉහතදී එක දිගට එල්ල කළ බෝම්බ ප‍්‍රහාර වැළක් අතරතුර පිළියන්දලදී එල්ල කළ මෙම ප‍්‍රහාරයෙන් වැඩි වශයෙන් මියගොස් හා තුවාල ලබා ඇත්තේ සිය සේවා කටයුතු අවසන් කොට නිවෙස් බලා යමින් සිටි කාර්යාල සේවකයින් බව කියමන් මෙම විත්තිකරුට දැඩි දඩුවම් නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසාද් නවාවී මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව නඟා තිබු චෝදනා 94න් චෝදනා 93කටම වෙන් වෙන්ව ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.

මෙම ‘ක්ලෝමෝ’ බෝම්බ ප‍්‍රහාරයෙන් ගමනා ගමන මණ්ඩලයේ පිළියන්දල ඩිපෝවට අයත් 63-4170 දරණ බස් රථයට අලාභ සිදු කිරීමේ චෝදනාවට විත්තිකරුට අමතර වසර 10ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරිණි.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට වසර 10ක පමණ කාලයක් රිමාන්ඞ් බාරයේ රඳවා සිටින සවිදානන්දන් ආනන්ද සුහාර් හෙවත් ලෝරන්ස් ඩේවිඩ් රාජ් හෙවත් වසන්තන් නමැති කොටි සාමාජිකයාට මෙලෙස දඬුවම් නියම විය.

විත්තිකරු සමඟම මෙම චෝදනා ලැබ සිටි දේවේන්ද්‍රන් සින්නයියා නමැති කොටි සාමාජිකයා නඩු විභාගය අතරතුර මිය ගියේය.

2008 අපේ‍්‍රල් මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පිළියන්දලදී ‘තවේන්’ නමැති කොටි සාමාජිකයා සහ පැමිණිල්ල නොදත් තවත් පිරිසක් සමඟ එක්ව ගමනාගමන මණ්ඩලයේ බස් රථය ඉලක්ක කොට ‘ක්ලෝමෝ’ බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත‍්‍රණය කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා නඟා තිබිණි.