ලංගම නඩුවෙන් සුසිල් - අනුර ඉවත් කිරීම ගැන ප්‍රතිවිරෝධයට කල් දෙයි



(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ජනපතිවරණ සමයේ හිටපු ජනපතිගේ රැස්වීම් සඳහා ලංගම බස් රථ යොදාගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 12ක මුදලක් ගෙවීමට නියම කරන ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනකුට එරෙහිව ගොනු කළ නඩුවෙන් සුසිල් ප්‍රේමජන්ත සහ අනුර ප්‍රියදර්ශන මහත්වරුන් ඉවත් කිරීමට  එරෙහිව සෙසු වගඋත්තරකරුවන්ගේ විරෝධයට ප්‍රතිවිරෝධතා ඇත්නම් ජුලි 4ට පෙර ගොනු කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය අද නියම කළේය.
 
ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් පවරා තිබු මුල් නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා, ගාමිණි සෙනරත් මහතා සහ අමල් සේනාධිලංකාර මහතා නම් කර තිබිණි. 
 
පසුව සංශෝධිත චෝදනා පත්‍රයක් ගොනු කිරීමේදී සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නම් ඉවත් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ප‍්‍රතිවිරෝධතා දැක්වීම සඳහා කල් ලබා දෙන ලෙස වගඋත්තරකාර පාර්ශවයෙන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා මේ සම්බන්ධයෙන් විරෝධතා ලබන ජුලි මස 04 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.