සිරාජ් හසීම්
ජිනීවා යෝජනාවේ නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කරන තෙක් ශ්‍රීලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය අහෝසි කරන්නැයි දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය නැමති කොටි හිතවාදී සංවිධානය බලකොට තිබේ.
එමෙන්ම ශ්‍රීලංකාව ජිනීවා යෝජනාවේ නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කිරිමට අපොහොසත් වන්නේ නම් ශ්‍රීලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙසද මෙම සංවිධානය තවදුරටත් ඉල්ලා තිබේ.
බ්‍රිතාන්‍යයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් වෙත සන්දේශයක් බාරදෙමින් මෙම ඉල්ලීම් සිදුකොට ඇත.
යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වගවී කටයුතු කරන බවට ලක් රජය විසින් ජාත්‍යන්තරය රවටා තිබෙන බවත් ජාත්‍යන්තරයේ අනුග්‍රහය මත 2015 වසරේදී සම්මත වූ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක වීමේ ප්‍රගතියක් නොදකින බවත් ලක් රජය කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත් මෙහි තවදුරටත් සඳහන් කර තිබේ.
මෙම යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක වී නැති හෙයින් පසුගිය 2017 වසරේ ශ්‍රීලංකාවට දෙවසරක කාල දිගුවක් ලබාදී ඇති බවත් මෙම කාලය ලබන මාර්තු මාසයෙන් අවසන් වන බවත් ශේෂ වී ඇති මේ කාලය තුළ මෙම යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස නොකරන බවත් මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.