ලංකාවේ ධීවර පනත සංශෝධනය කළාට තමිල්නාඩුවෙන් විරෝධයක්


( තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකා මුහුදු සීමාවට නීති විරෝධීව විදේශීය ධීවර යාත‍්‍රා ඇතුළුවීම වැලැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් ධීවර පනත සංශෝධනය කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් තමිල්නාඩු ප‍්‍රාන්ත ප‍්‍රධාන අමාත්‍ය ඊ. පලනිස්වාමි මහතා විසින් ඉන්දීය අගමැතිවරයා වෙත සිය අප‍්‍රසාදය පළ කර ඇතැයි ඉන්දියාවේ පළවන ඞී.එන්.ඒ. පුවත්සේවය අද (26) වාර්තා කළේය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා වෙත ලිපියක් යොමු කරමින් තමිල්නාඩු ප‍්‍රාන්ත ප‍්‍රධාන අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලය හරහා මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ විරෝධය පල කරන ලෙසයි.

ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී සිදු කරන නීතිවිරෝධී ධීවර කටයුතු වැලැක්වීමේ අරමුණින් ධීවර පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත පසුගිය 24 වැනි දා විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එම කෙටුම්පතට අනුව මෙරට මුහුදු සීමා උල්ලංඝණය  කරන විදේශීය ධීවර යාත‍්‍රා සඳහා පනවනු ලබන දඩ මුදල රුපියල් මිලියන 175ක උපරිමයක් දක්වා ඉහළ නැංවෙයි.

මෙලෙස දඩ මුදල් විශාල වශයෙන් ඉහළ නැංවීම පිළිබඳ දැඩි අප‍්‍රසාදය පළ කර ඇති තමිල්නාඩු ප‍්‍රාන්ත ප‍්‍රධාන අමාත්‍යවරයා දෙරට අතර ධීවර ගැටළුව පිළිබඳව ස්ථීර විසඳුමක් ලබා ගැනීම සඳහා පෙර පැවැති සාකච්ඡාවලට අනුව මෙය පිළිගත නොහැකි  විසඳුමක් බව පෙන්වා දී ඇතැයි ඞී.එන්.ඒ පුවත් සේවා වාර්තාවේ දැක්වේ.