(ඩී. ජී. සුගතපාල)
ශ්‍රී ලංකාවේ පොදු මාර්ගවල ධාවනය කළ නොහැකි එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරු පැදියක ව්‍යාජ අංක තහඩුවක් සවිකර ගෙන ධාවනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රුපියල් 65,000ක දඩයක් නියම කර යතුරු පැදිය රාජසන්තක කිරීමට අද(25) නියෝග කළේය.
මෙසේ දඩ නියමවූයේ වඩුතන්ත්‍රි දිනුෂ්ක ද සිල්වා නමැති පුද්ගලයෙකුටය.
ඔහු මෙම යතුරු පැදිය ධාවනය කරමින් සිටියදී මුර සංචාරයේ යෙදී සිටි ගාල්ල පොලිසියේ නිලධාරි කණ්ඩායමක් එය නවතා පරීක්ෂා කිරිමේදී ඇතිවූ සැකයක් නිසා ඒ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් විමසූවිට පවසා ඇත්තේ එවැනි අංකයක් යටතේ යතුරු පැදියක් ලියා පදිංචිකර නොමැති බවය.
පසුව ගාල්ල දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයා යතුරු පැදිය පරීක්ෂා කර බලා මෙය ලංකාවේ පොදු මාර්ගවල ධාවනය කළ නොහැකි එන්ජින් ධාරිතවය 600කින් යුත් එකක් බවටත් ලංකාවේ පොදු මාර්ගවල ධාවනය කළ හැක්කේ එන්ජින් ධාරිතාවය 450 දක්වා පමණක් වන යතුරු පැදිවලට පමණක් බවටත් වාර්තාවක් ලබාදි ඇත.
ඒ අනුව මෙම නඩුව පවරා තිබු අතර ව්‍යාජ අංක තහඩුවක් සවි කිරීමේ චෝදනාවට රුපියල් 15,000ක්ද ලියා පදිංචි නොකරන ලද යතුරු පැදියක් ධාවනය කිරීමේ චෝදනාවට රුපියල් 50,000ක් ද වශයෙන් මෙසේ දඩ නියම විය.

