(විනීතා එම්. ගමගේ)
මෙරට ඇතුන් ගේ දළ තුළ ගජමුතු නැතැයි හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ, මැණික් පිළිබඳ විශේෂඥයකු හා වනජීවී වෙළඳාම පිළිබඳ විශේෂඥයකු වන සමන්ත ගුණසේකර මහතා පවසයි.
ඇතුන් දහස් ගණනකගෙන් එකෙකුගේ මුතු තිබිය හැකි වුවත් එසේ මුතු ඇතිවිය හැක්කේ වසර සියයකට ආසන්න කාලයක් ජීවත් වූ සතකුගේ පමණකැයි ගුණසේකර මහතා පෙන්වා දෙයි.
ගජමුතු බව පවසමින් ජාවාරම්කරුවන් විකුණනු ලබන්නේ මුතු බෙල්ලන්ගෙන් ලබා ගන්නා මුතු හෝ ඇත් දළවලින් කපා ඔප මට්ටම් කරන ලද කොටස් බව වගකීමෙන් පැවැසිය හැකි බව ගජමුතු පිළිබඳව ලංකාදීපයට අදහස් දක්වමින් ගුණසේකර මහතා කීවේය.
එමෙන්ම ගජමුතු බව පවසමින් විකුණන්නට තැත් කරන දේ අතර හරක් ඇට, පළිගු හෝ වෙනත් පාෂාණ වලින් කපා ඔප දැමූ දේ ඇතැයි ද හෙතෙම පැවැසීය.
ඇතුන් ගේ පශ්චාත් මරණ පරික්ෂණ සිය ගණනකට තමන් සම්බන්ධ වී ඇතත් එකම අවස්ථාවක හෝ ගජමුතු හමු නොවූ බව කී ගුණසේකර මහතා ගජමුතු හමුවූ බව පවසන්නන්ට හසුනොවන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

