ලංකාවෙන් රත්රන් ඉන්දියාවට ගෙන ගිය 6 ක් අත්අඩංගුවට


ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගිය රත්රන් කිලෝ ග්‍රෑම් 32කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන   ‘‘ඉන්දියා ටුඩේ ‘‘   පුවත් වෙබ් අඩවිය  අද (03) වාර්තා කළේය.
 
අදාල රන් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 10කට අධික බව එම මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ. 
 
ඉන්දියාවේ චෙන්නායි නුවර තදාසන්න ප්‍රදේශයන්හි ඊයේ (02) සිට ගතවූ පැය 24ක කාලයක් තුළ කළ මෙහෙයුමකදී නීති විරෝධීව රැගෙන එනු ලැබු  රත්‍රං සමඟ මෙම සැකකරුවන් ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
 
ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් රන්රැ ගෙනයාමේ මහාපරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන අතර තමිල්නාඩු වෙරලබඩ ප්‍රදේශ වෙත රැගෙන ඒමෙන් අනතුරුව එම රන් අළෙවිය සඳහා චෙන්නායි නුවරට ප්‍රවාහනය කෙරෙන බව ඉන්දීය ආරක්ෂක අංශ කළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
 
මෙලෙස තමිල්නාඩු වෙරළබඩ ප්‍රදේශ වන තිරුචෙන්දූර් ,රාමේෂ්වරම් සහ වේදරානියම් හි මෙම රත්රන් ජාවාරම් වැඩිපුර කෙරෙන බව එම වැටලීම් සිදු කළ නිලධාරීහු පෙන්වා දෙති.
 
මෙම ජාවාරම් මැඩලීම සදහා ශ්‍රී ලංකා රජයත් ,ඉන්දීය රජයත් පියවර රැසක් ගනු ලැබූ අතර ආනයනික රත්රන් සදහා සියයට 10 ක නව බද්දක් පැනවීමට ශ්‍රී ලංකා රජය ඉකුත්දා පියවර ගෙන තිබිණි.
 
(125)