ලංකාවට වියට්නාමයෙන් මිලියන 5 ක වෛද්‍ය උපකරණ තොගයක්


(තිළිණි ද සිල්වා )

කොරෝනා වසංගතය මැඩලීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීම වෙනුවෙන්  වියට්නාම රජය විසින්  ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 30.000 (රුපියල් මිලියන 5 කට) වැඩි වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය සඳහන් කළේය.

වියට්නාමයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගුවෙන් ක්වොක් ඩොංග් විසින් වියට්නාමයේ ශ්‍රී ලංකාවේ තානාපති ප්‍රසන්න ගමගේ මහතා වෙත අදාළ පරිත්‍යාග හැනොයි නුවර පිහිටි එරට හි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සංකේතාත්මකව භාර දී ඇතැයි ද එම අමාත්‍යාංශය කියයි.

වියට්නාම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඩොංග් විසින් මෙම පරිත්‍යාගය ලබා දෙමින් කියා සිටියේ දෙරට අතර දුෂ්කරතා පැවති කාලවලදී පැවති දීර්ඝ කාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගය වෙනුවෙන් මෙම වෛද්‍ය උපකරණ තොගය පිරිනමන බවය.එසේම වසංගතයට එරෙහිව කටයුතු කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම නැවත විමර්ශනය කෙරෙන අවස්ථාවක් යැයිද වියට්නාම නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.

වියට්නාමයේ ශ්‍රී ලංකා  තානාපති ප්‍රසන්න ගමගේ මහතා මෙහිදී කරුණු දක්වමින් කියා සිටියේ  වියට්නාම රජය විසින් නොමසුරුව පරිත්‍යාග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අවංක ස්තූතිය පළ කළේය.