ලංකාදීප පොසොන් ආලෝක පූජාව සාර්ථකව නිමාවට


හර්ෂණ තුෂාර සිල්වා තන්තිරිමලේ සිට

විජය පුවත්පත් සමාගම මගින් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී පහළොස්වැනි වරටත් සංවිධානය කරන ලද ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ අද (29) සාර්ථකව නිමාවට පත්කෙරිණි. 

පුණ්‍යෝත්සවයේ අවසාන දිනය මෙන්ම තෙවැනි දිනය වූ අද (29)  ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ විවෘත කරනු ලැබුවේ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.ආර්.එම් තිලකරත්න සහ සහකාර සාමාන්‍යාධිකාරී (විදුලි) නලින් නිවුන්හැල්ල යන මහත්වරුන් විසිනි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ ආලෝක පූජාව විවෘත කෙරෙද්දී දහස් සංඛ්‍යාත බොදු බැතිමතුන්ගේ සාධුකාරයෙන් මුළු තන්තිරිමලය පුදබිමම නින්නාද විය.

ආලෝක පූජාව ආරම්භ වූයේ පිරිස පංචශීලයේ පිහිටවමිනි. සඳමල්එළිය ශ්‍රී පුෂ්පාරාමාධිපති විහාරගම සංඝරතන නායක හිමි විසින් පිරිස පංචශීලයේ පිහටවනු ලැබිණි. 

ඉන් අනතුරුව උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජ මහ විහාරයේ විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියන් විසින් අනුශාසනාව හා පුණ්‍යානුමෝදනාව කරනු ලැබිණි. 

මෙම අවස්ථාවේදී විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා අදහස් දැක්වූ අතර ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ’ අවසාන දිනයේ ස්තූති කතාව මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.ආර්.එම් තිලකරත්න මහතා විසින් සිදු කෙරුණු ලැබිණි. 

මහා සංඝරත්නය, විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරි (වෙළෙඳ) සුජිත් පතිරන්නැහැ , සහකාර සාමාන්‍යාධිකාරී (විදුලි) නලින් නිවුන්හැල්ල, සහකාර සාමාන්‍යාධිකාරි (ගබඩා) නිමල් වික්‍රමසිංහ, අලෙවි කළමනාකරු ගාමිණි පතිරගේ, මානව සම්පත් කළමනාකරු තිස්ස කහඳවලආරච්චි, කළමනාකරු (විදුලි) ජගත් පෙරේරා යන මහත්වරු ඇතුළු විජය පුවත්පත් සමාගමේ නිලධාරීන්, සේවකයන් හා ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ. 

ඡායාරූප - ශාන්ත රත්නායක