ලංකා සමසමාජ පක්ෂයෙන් රජයට යෝජනාවලියක්


(සුජිත් හේවාජුලිගේ)

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලංකා සම සමාජ  පක්ෂය  රජයට යෝජනාවලියක් බාරදීමට  තීරණය කර ඇත.

එම යෝජනාවලිය සකස් කිරීමේ කටයුතු මේ දිනවල කරගෙන යන බව ලංකා සමසමාජ පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා  ලංකාදීපයට පැවැසීය.

මේ අතර  දූෂණ වංචා සහ අක්‍රමිකතා නිසා රටේ විශාල ධනයක්  නාස්තිවන බවත්  එම  නාස්තිවන මුදල ඉතිරි කරගතහොත් මෙරටේ අයවැය පරතරය පවා ඉන් පියවා ගත හැකි වනු ඇති බවත්  මන්ත්‍රීවරයා කීවේය.

මේ නිසා රටේ සිදුවන දූෂණ,වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා විශේෂ විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වැදගත් බවද  හෙතෙම සඳහන් කළේය.

ඇතැම් රාජ්‍ය ආයතනවල මහා පරිමාණයෙන් දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවන බවත් රජයේ ගිණුම් පිළිබඳ  පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස   ඇතැම් දූෂණ වංචා දැක තමා කම්පනයට පත්වූ බවත් ඔහු කීවේය.

මේ අතර  ගෑස් මිල වැඩි කෙරුණු ආකාරය ගැන තමාගේ ප්‍රසාදයක් නැති බවත් ඒ සම්බන්ධයෙන්ද  රජයට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේ‍ය.