ලංකා ප්‍රමිති ආයතනය රුසියාව එක්ක හාද වෙයි


(අංජුල මහික වීරරත්න)

 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ රුසියානු සමූහාණ්ඩුවේ තාක්ෂණික නියාමනය සහ මිනුම් විද්‍යාව පිළිබඳ ෆෙඩරල් නියෝජිත ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මිනුම් විද්‍යාව සහ උපකරණ ක්‍රමාංකන ක්ෂේත්‍රයට අදාළව ඉතා දියුණු මට්ටමක පවතින ආයතනයක් වන රුසියානු සමූහාණ්ඩුවේ තාක්ෂණික නියාමනය සහ මිනුම් විද්‍යාව පිළිබඳ ෆෙඩරල් නියෝජිත ආයතනය සතුව ජාතික ප්‍රමිතීන් 39,000 කට වැඩි සංඛ්‍යාවක් පවතී.

 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සතුව පවතිනුයේ ජාතික ප්‍රමිතීන් 4,500 ක් පමණ සංඛ්‍යාවකි. ඒ අනුව, දැනට රුසියාවේ භාවිත කරනු ලබන ප්‍රමිතීන් ශ්‍රී ලංකාවේ  ඉදිරියේදී සකස් කරනු ලබන ප්‍රමිතීන් සඳහා යොදා ගැනීම, දෙරට අතර ප්‍රමිතීන් සමගාමී කිරීම මඟින් වෙළෙඳ පහසුකම් සැපයීමේදී රුසියානු සමුහාණ්ඩුව සමඟ ඇති තාක්ෂණික බාධක ඉවත් කිරීම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට මිනුම් විද්‍යාත්මක හා ක්‍රමාංකන ක්ෂේත්‍ර වල උසස් තාක්ෂණික සහයෝගිතාව ලබා ගැනීම, ජාත්‍යන්තර නීතිය, මාර්ගෝපදේශ හා ප්‍රමිතීන්ට අනුකූල වූ ප්‍රමිතිකරණය පිළිබඳව සහයෝගිතාව වර්ධනය කිරීම ආදී අරමුණු සහිතව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ රුසියානු සමූහාණ්ඩුවේ තාක්ෂණික නියාමනය සහ මිනුම් විද්‍යාව පිළිබඳ ෆෙඩරල් නියෝජිත ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.