ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයාට එරෙහි පෙත්සම් 14 ක් ඉල්ලා අස් කරගනී


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ වරින් වර පළ වී ඇති ප්‍රවෘත්ති 14 ක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා එම වෙබ් අඩවියේ කතුවරයාට සුදුසු දඬුවමක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම්  14 ක් එම පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා අස් කර ගන්නා ලදී.

මෙම පෙත්සම් එල්.ටී.බී.දෙහිදෙණිය , යසන්ත කෝදාගොඩ , ඊ.ඒ.ජී.ආර්.අමරතුංග යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවු අතර එහිදී මෙම පෙත්සම් තවදුරටත් පවත්වා ගෙන යාමට අදහසක් නොමැති බවට පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විනිසුරු මඩුල්ල හමුවේ දන්වා සිටියේය.

එබැවින් එම පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අධිකරණයේ අවසරය ලබා දෙන්නැයිද පෙත්සම්කාර පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙන ලදී .

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් වරින් වර පළ වී ඇති ප්‍රවෘත්ති 14 ක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා එම වෙබ් අඩවියේ කතුවරයාට සුදුසු දඬුවමක් ලබා දෙන ලෙස ඉල්ලා 2016 නොවැම්බර් 23 වැනිදා ගොනු කළ මෙම පෙත්සම් 14 වගඋත්තරකරු වශයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘවරයා සඳරුවන් සේනාධීර මහතා නම් කර තිබුණි.

මීට පෙර මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර සඳරුවන් සේනාධීර මහතාට පෙත්සම සම්බන්ධයෙන් නොතීසි දන්වා යවන ලෙස නියම කළද එම නොතීසි බාර දීමට නොහැකි වූ බව පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයට දන්වා තිබිණි.

ගොනු කර තිබූ එම පෙත්සම් වල මෙසේද සඳහන් විණි,

පෙත්සම්කරු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ උපාධිධාරියෙකි.නීතීඥවරයෙකි. නීතියේ ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් ආරක්ෂා කිරීම පිළිබඳ උනන්දුවක් දක්වමි.ලංකා ඊ නිව්ස් නම් වෙබ් අඩවියේ විනිශ්චයකාරවරුන්ගේ චරිතය ඝාතනය කරන විවිධ ප්‍රවෘත්ති පළ වී ඇත.

මෙම වෙබ් අඩවියෙහි සංස්කාරවරයා වනුයේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පදිංචිව සිටින සඳරුවන් සේනාධීර නැමැත්තෙකි.ඊට අමතරව දැනට මාළඹේ තලංගම උතුර ,දහම් මාවතේ ,අංක 844 දරණ ස්ථානයේ කාර්යාලයක්ද පවත්වාගෙන යයි.

මෙවැනි ප්‍රවෘත්ති 14 ක් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.මෙම ප්‍රවෘත්ති තුළින් අදිකරණයට අපහාසයක් සිදුවන බව හැඟී යන බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවමක් ලබා දෙන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.